
හොර පාස්පෝට් කතාව ගෙලසිඳ මරාදැමූ රිසානාගේ සිට විමල් වීරවංශ දක්වා පරාසයක ලංකාව තුළ විහිදේ. රිසානා රට යැව්වේද, මන්ත්‍රීතුමාට චෝදනා ගොනුවූයේද පාස්පෝට් එකේ හෙවත් ගමන් බලපත්‍රයේ වයස වෙනස් කරන්නට යාමෙනි. පුංචි බොරැල්ලේ සිට දැන් බත්තරමුල්ලට ගෙනගොස් ඇති පාස්පෝට් කන්තෝරුව යනු මහ දහවලේ අමුවෙන් ගේම් ගසනා සුන්දර පොට් එකකි. ලාංකිකයන් කොතරම් වැඩ්ඩන්දැයි දැකගැනීමට රේගුවට වැලිකඩට හා පාර්ලිමේන්තුවට හැරුණු කළ යා යුත්තේ පාස්පෝට් කන්තෝරුවටය. නොම්බර එකේ හොරු මහදහවලේ සිනහාසෙමින් ඔබ සමඟ කතා කරනු ඇත. බැලූ බැල්මට අධ්යක්ෂ ජනරාල්වරයාගේ පුතකු මෙනි. නැතිනම්, පාස්පෝට් කන්තෝරැවේ ඩී.ජී.ගේ එක්කුස උපන් මල්ලී මෙනි. මේ කාක්කන්ට ඇත්තේ එතරම් විශාල බලයකි.
මුලින් කී පරිදි පාස්පෝට් කන්තෝරුවේ ඇත්තේ වයස වෙනස් කිරීම පමණක් නොවේ. වයස වෙනස් කිරීම නම් මොනවාදැයි සිතෙන්නේ එහි සිදුවන අනෙක් පාස්පෝට් හැදිල්ල දුටු විටය. පසුගියදා පොලිස් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමක් සිදුකළේ පොලිස් විශේෂ ඒකකය විසින් සිදුකළ අපූරු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
සාලු පොලිස් විශේෂ ඒකකයේ තොරතුරු දූතයෙකු ලෙස කලෙක පටන් කටයුතු කරයි. ඒ අනුව දිනක් සාලුට තොරතුරක් ලැබෙන්නේ අමු අමුවේ සම්පූර්ණ ගුවන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකසන ජාවාරමක් පිළිබඳවය. මෙහි පුදුමාකාර කාරණය වූයේ අදාළ බලපත්‍රය සකස් කරන්නේ පිට හොර ගුහාවක නොව ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළදීම වීමය. සාමාන්‍යයෙන් සිදුවන්නේ පාස්පෝට් එකේ පිටු ගණන එන ලෙසට ව්‍යාජව සකස් කළ පොතකට හොර පාස්පෝට් එක අවශ්‍ය තැනැත්තාගේ ඡායාරූපයක් අලවා එය සාමාන්‍ය රජයේ එකක් ලෙස පෙනනා සේ සකස් කිරීමයි. ඒහෙත් පුරුදුකළ ඇසකට එය හඳුනාගත නොහැක. වෙලේ සුදාගේ නම සමන්ත නම්, ඔහු හේමන්ත නමින් පාස්පෝට් එකක් ගන්නේ මේ ක්‍රමයෙනි. ඡයාරූපය එකම වුවද නම, ගම, වයස මෙන්ම අනෙකුත් කාරණා සියල්ලම වෙනස්ය. යම් හෙයකින් මේ පොර පෝස්පෝට් එක ආගමන විගමන කන්තෝරුවෙන්ම එළියට එනවා නම්... එය තරමක් ඇදහිය නොහැකි කාරණයකි.
කෙසේ හෝ ලැබුණ තොරතුර අනුව සාලු දින කිහිපයක් කන්තෝරුව වටා කරක්ගසන්නට විය. ඔහුට අවශ්‍ය වූයේ සැබෑවටම කන්තෝරුව තුළින් හොර ගමන් බලපත්‍රයක් ලබාගැනීමටය. වටපිටාවේ ඇවිද විස්තර සොයාබලද්දී මුලින් කී ආකාරයේ පිටස්තර හොර ගුහාවල පාස්පෝට් හදවනා කුක්කන් රැසක් සාලු වටා ඇවිදින්නට වූහ.
මොකද්ද වෙන්නෙ ඕන?
මගේ අයිඩෙන්ටියේ තියෙන නම නැතිව වෙන එකකට පාස්පෝට් එක ඕන
දහදාහයි... කරලා දෙන්නම්
කොහේද කරන්නේ?
දෙමටගොඩ
බෑ... මට ඇතුළෙන් ඕන
මෙවන් සංවාද කිහිපයකට පසුව සාලුව සොයා එන්නේ නියම ඉලක්කයයි. සාමාන්‍යයෙන් මෙකී ප්‍රධාන ජාවාරම්කරු එළියට එන්නේ තමාගේ පාරිභෝගිකයාට සැබෑවටම අවශ්‍යතාවයක් තිබේද යන්න දැඩිසේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එහිදී කිසිදු හේතුවක් නොමැතිව, සැබෑවටම හොර පාස්පෝට් නොසාදන අය කිහිප දෙනෙක්ද පැමිණ කතා කිරීම සිදුවේ. ඔවුන් ඔබේ හැඳුනුම්පත් රැගෙන එහි ලිපිනය හද්දා දීපංකරයක නම් ඔබව දෙමටගොඩ ගුබ්බෑයමක් දක්වා රැගෙන ගොස් ඔබේ මුදල්, දුරකථන හා ඇඳිවතද ගලවාගෙන දෙමගොඩ කෝච්චි පාර අයිනේ දමා යයි. නැතිනම් ඔරැගොඩවත්ත කුණු ඇලට තල්ලු කරයි. බොහෝවිට දැන් තත්ත්වය තවත් දරැණුය. දැන් ලංකාවේ වකුගඩු සොරාගැනීම සිදුවේ. මෙවන් යමක් වෙනුවෙන් බඩගා යන අහිංසකයින් අල්ලාගෙන ගොස් දින ගණන් සිරකර, බඩගින්නේ තබා, අවශ්‍ය දිනට මත්වන්නට යමක් දමා යම් ආහාරයක් ලබාදේ. ඇති දැඩි කුසගින්න හේතුවෙන් එම ආහාරය ගිල දමනා අහිංසකයා, සිහි විසන්ධි වූ පසුව උස්සාගෙන ගොස් වකුගඩු දෙක ගලවාගෙන කොහි හෝ දමායනු ඇත. පුතා නැති වුණා, මහත්තයා ගෙදර ආවේ නෑ යනුවෙන් ලංකාවේ කොහි හෝ පොලීසියක පැමිණිල්ලක් ලියැවෙනු ඇත. එපමණකි. හුස්ම ගැනීමත් පරෙස්සමින් කළයුතු සංකර පාපකාරී පොළොවේ සාලු මේ සොයන්නේ හොර පාස්පෝට් රජාය.
පෙර කී පරිදිම සාලු සොයා පාස්පෝට් රජා එළියට ඇදෙන්නේ මූට නම් ඇත්තටම වැඩේ ඕනෑ බව දැනගෙනය.
බොස්, ඇතුළේ ඔරිජිනල් බඩුවක් හොයනවා කියලා ආරංචියි
ඔව්. මට ඇතුළෙන්ම ඕන. මගේ මේ අයිඩෙන්ටියේ තියෙන නමට නෙවෙයි. වෙන එකකට. මගේ ෆොටෝ එක, අනිත් විස්තර ඔක්කොම බොරු. මට හොර ඒවා එපා රජයෙන් ගහන ඔරිජිනල් එකම ඕන...
ගාණ වැඩියි බොස්. වියදම් කරන්න පුළුවන්ද?
කීයක් වෙනවද... ගොඩක් සල්ලි නම් නෑ...
එකයි පනහක්. සල්ලි තියේද?
අනේ අයියේ, එච්චර නෑ. පනස්දාහයි තියෙන්නේ... පොලීසියෙන් කේස් කුඩු සීන් එකකට. අච්චු කරලා නිසා රට යන්න බෑ. තාත්තාට හොඳටම අමාරුයි. කීයක් හරි හොයාගන්න තමයි මේ ගේමක් ගහන්නේ...
උඹේ කරේ මාලයක් එහෙමත් තියෙනවා නේද...
ඒකත් දෙන්නම් අයියේ. එච්චරයි මට තියෙන්නෙ...
මාලෙත් විකුණලා සල්ලි හදාගෙන වරෙන්. බලමු මොනවා හරි කරන්න..
සාකච්ඡාව අනුව දැන් වැඩේ කෙරෙනා බව සිතිය හැක. මෙවන් හොර ගුල්ලන්ගේ අවධානය බිඳිය හැකි හොඳම ක්‍රමය මුදල් නැතිබව හැඟවීමයි. එහිදී ඔවුන් බලන්නේ තමා ඉදිරියේ සිටිනා සතාගේ රීරී මාංශ උරා බීමට මිස මූ පොලීසියේද කියා නොවේ. එබැවින් එකී රඟපෑම සාර්ථක විය. දැන් ඉලක්කය කොටුවී හමාරය. සාලු ඉක්මණින් ඇවිදවිත් කඩයකට රිංගා ගෙලේ තිබූ මාලය ගලවා එය යටකලිසමේ සඟවා ගත්තේය. විනාඩි කිහිපයක් සැඟවී සිට හොඳින් වට පිට බලා එළියට ආවේ සල්ලි සකස් කරගත් අයුර පෙන්වමිනි. සාලු එනතෙක් ඉලක්කය මඟ රැඳී සිටියේය. සාලුට පසු පසින් එන්නැයි කියා මගෝඩියා ගමන් කළේ ආගමන විගමන කන්තෝරුව තුළටමය. ඒ ගොස් විනාඩි කිහිපයකින් ආපසු පැමිණි මගෝඩියා සාලුගෙන් ඔහුගේ හැඳුනුම්පතත්, ඡායාරූප කෑලි හයත්, රුපියල් අසූදහසකුත් ඉල්ලාගෙන දුරකථන අංකයක් ලියූ කාඩ් පතක් දුන්නේය.
දවස් තුනෙන් වරෙන්. බඩු ඇවිල්ලා තියේවි. මෙතෙන්ට ඇවිල්ලා මේ නම්බරේට කෝල් කරපන්. මේ කාඩ් එක නැති කරගන්න එපා. ඒ එන එකාට මේක දීපං. මිනිහා ඉතිරිටික කියාවි...
ඒ මගෝඩියාගේ අවසන් වචනයි. ඒ වචන ප්‍රශ්න කරන්නට යාම සුදුසු නැත. සාලුට ලැබී තිබූ නියෝග වුයේ කෙසේ කෝ කන්තෝරුව තුළින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් එළියට ගන්න ලෙස පමණි. ඊට හේතුව නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස අතේ දිවුරා කියාසිටින්නේ තමන්ගේ තාක්ෂණය අනුව එවැන්නක් සිදුවිය නොහැකි බවය. ඔවුනට අනුව සම්පූර්ණයෙන් පරිගණකගතකොට ඇති මෙම පද්ධතියට එසේ හොර බලපත්‍ර නිකුත් කළ නොහැක. දැන් සාලු මේ උත්සාහ කරන්නේ එසේ සිදුවිය හැකිවග ඔප්පු කිරීමටය.
දින දෙකකට පසුව සාලු දෙපාර්තමේන්තුව අසලට ගොස්, ඒ ආසන්නයේ තිබූ කොමියුනිකේෂන් එකකින් මගෝඩියා දුන් අංකයට ඇමැතුමක් දුනි.
පළවෙනි තට්ටුවේ කැන්ටිමට එන්න. මොකද්ද ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ?
කළු කලිසමයි, නිල් පාට අත් දිග ෂර්ට් එකයි...
හරි එන්න. මම එන්නම්...
සාලු එහි ගොස් සුළු මොහොතකින් පැමිණි එක්තරා අයෙකු සාලුගෙන් කාඩ්පත ඉල්ලුවේ වටපිට බලමිනි. කාඩ්පත පරීක්ෂා කොට, ඔහු සාක්කුවේ තිබූ මුද්‍රිත කොළයක් ගෙන එය සාලුට දුනි.
මේ තියෙන්නේ උඹේ විස්තර. මේ නමට තමයි අරගෙන තියෙන්නේ. මේ නම කට පාඩම් කරගෙන, හවසට කවුන්ටරේ ළඟින් හිටපන්. එතෙන්ට බඩු ආවාම කවුන්ටරේට සල්ලි ගෙවලා ගනින්...
ඒ කියූ සැණින් ඔහු අතුරුදන් වුවද ඒ වන විටත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහු පසුපස හඹා යාම අරඹා අවසන්ය. ඒ අතරේ සාලු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කවුන්ටරය අසල රැඳී සිටින්නට විය. ඒ ඔහුගේ ඡායාරූපය සහිත, අන් කාගෙද නමගම විස්තර සහිත ඒ අපූරු ගමන් බලපත්‍රය පැමිණෙන තෙක්ය. අවසානයේ එය පැමිණුනි. නියමිත මුදල ගෙවා ඔහු එය ලබාගත් අතර මගෝඩියා කියූ ලෙසින්ම තමාගේ ඡායාරූපයට කොලයේ තිබූ නමගම විස්තර ඇතුළත්ව තිබුණි. මේ අතරේ මගෝඩියාගේ දෙවැනි දූතයා අත්අඩංගුවට ගෙන තිබූ අතර සාලු සතුවූ ගමන් බලපත්රයද පොලිස් අපරාධ කොට්ඨාසයේ බාරයට පත් කෙරුණි. මේ වනවිට මෙකී සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් අපරාධ කොට්ඨාශය මඟින් සිදු කරනු ලැබේ.
♦ විමුක්ති රත්නමලල